තාත්තාගේ මළගම...
කෙටි කතාව යනු ඉතාම සියුම් ගද්‍ය නිර්මාණ විශේෂයක් ලෙස දැක්විය හැකිය. විශේෂයෙන් මිනිස් සිතේ සංකීර්ණත්වය අල්ලා ගන්නට බෙහෙවින්ම උචිත මාධ්‍යයක් ලෙස කෙටි කතාව දැක්විය හැකිය. මෙහිදී මිනිස් සබඳතා ඉතා සියුම් ලෙස විවරණය කිරීමට සමත් කෙටිකතාකරුවෙකු වශයෙන් ප්‍රකට ජයතිලක කම්මැල්ලවීරයෝ 1943 වසරේ ඔක්තෝබර් 02 දින ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩල හීනටියන ග්‍රාමයේ උපත ලැබූහ. හීනටියන විදුහලෙන් හා මිනුවන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් හෙතෙම ශාස්ත්‍රෝද්ග්‍රහණය ලැබුවේය.
සිසුවෙකුව සිටි සමයේදී ම මොහු තරුණ භික්ෂූන් වහන්සේ නමක් හා 'එක්විසිරිසර' නමින් සඟරාවක් පළ කළේය. ඔහු සිළුමිණ පුවත්පතේ කමලා ළමා සමාජයේ සාමාජිකයෙකුද වී සිටියේය. කම්මැල්ලවීරයන්ගේ ප්‍රථම පැදි පෙළ වනිමගේ ගුරුවරයා සිළුමිණ ළමා පිටුවෙහි පළ වූයේද මෙකලය.
කම්මැල්ලවීරයන්ගේ සෙසු කෙටි කතා කෘති වන්නේ ලි මිනිස්සු, යක්කු සහ දෙවියෝ, තවත් කමලාවියක්, මාංචු, අන්තිම කැමැත්ත, ලේ, 5 වැනි ජවනිකාව, සොබා සහ සිහින ඉසව්වයි. මෙම කෘති අතරින් කිහිපයකටම රාජ්‍ය හා ස්වාධීන සාහිත්‍ය සම්මාන හිමිවිය.
කම්මැල්ලවීර මහතා නවකතා 05ක් රචනා කර තිබේ. අට අවුරුද්ද, තාත්තලාගේ කතාව, ගොදුරු, පුරා හඳ හා සියොත් තටු සිඳ නම් වූ එම කෘති වලට අමතරව පවුකාර දරුවා නමැති පරිවර්තිත කෙටිකතා එකතුවත් පුංචි නිසංසලා නම් යොවුන් ප්‍රබන්ධය හා සෙනරත් මාමාගේ කතන්දර නම් ළමා පොතත් ඔහුගේ සෙසු නිර්මාණය. තවද චුම්බන කන්ද, ඇස්, අට අවුරුද්ද, ජීවිතයෙන් උපන් කතා, මාංචු, ගොදුරු, අන්තිම කැමැත්ත, පුරා හඳ, කළු සපත්තු, සොබා ප්‍රීන්ස් දැක්විය හැක.
ඔහුගේ පළමු කෙටි කතා සංග්‍රහය කළු සපත්තු නමින් 1985 වසරේදී පළවිය. ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ අනුග්‍රහය යටතේ පාඨකයාට හඳුන්වා දුන් මේ කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබීය. එතැන් සිට මේ දක්වා සාහිත්‍ය වෙනුවෙන් අනගිභවනීය මෙහෙවරක නිරතව සිටින මොහු නවතම කෙටිකතා සංග්‍රහය එකොළහ නමින් පසුගියදා එළි දැක්වීය. මා විචාරය කිරීමට යන තාත්තාගේ මළගම නම් නිර්මාණය ඔහුගේ මිනිස්සු යක්කු සහ දෙවියෝ යන කෘතියෙන් උපුටා ගැනුණකි. කෘතිවල පවතින විශේෂතා පිළිබදව කතා කලහොත් මුල් කෘතිවල වඩා බර තැබීම අන්තර්ගතය දෙසට යොමු වූ බව දැකගත හැක. පසුව නිර්මාණය වූ කෙටිකතා වල ශිල්පීය පක්ෂය කෙරෙහි අවධානය යොමු වී ඇත. සංක්ෂිප්තභාවය ගැන දක්වා තිබෙන නිසා ඉතා කෙටි බවක් මේ තුළ දැක ගත හැක. වචන අඩුවෙන් භාවිත කර කියැවීම තුළ පුළුල්ව පැතිරෙන දෙයක් කීමට උත්සහ කරයි.
එලෙසම ඒකීය ධාරණාවට වඩා ධාරණා ගණනාවක් දක්නට ලැබීම පාඨක පරිකල්පන ශක්තිය කෙරෙහි ලොකු විශ්වාසයකින් ලියන ලද කතා දක්නට ලැබීම, පස්වැනි ජවනිකාව පොතෙන් පටන් ගෙන වර්ධනය කල දෙයක් ලෙස දැක්විය හැකිය. සෑම වචනයකටම බරක් දෙන්න උත්සහ කර ඇති බවක් දක්නට ලැබේ. මේ කෙටි කතා කියවා යලි යලි මෙනෙහි කිරීම තුලින් ලැබිය හැකි වින්දනය සියුම් බවක් දනවයි. මෙම කෙටි කතා තවත් කෙනෙකුට වචනයෙන් කියා දීමට නොහැකි අතර ඉවසිල්ලෙන් අවධානයෙන් කියවීමක් පාඨකයාගෙන් අපේක්ෂා කරයි. මොහුගේ නිර්මාණ ප්‍රවාහය තුළ යථාර්තවාදයෙන් පිටගිය අවස්ථා හමු වන්නේ සීමා සහිතවය. ඔහුගේ කෙටි කතා අතරත් යථාර්තවාදී ගොඩට දාන්න බැරි කතා ගණනාවක් ඇත. එහෙත් ඒවා ලියා ඇත්තේ අධියථාර්තවාදය කියන රාමුව ඇතුලට එන අදහසින් නොවේ. රතු බොත්තම්, බෝල සබන්, කළු අහස, රැකවල්කරුවෝ වැනි කෙටි කතා 10ක් 15ක් උදාහරණ විදිහට දැක්විය හැක. ජයතිලක කම්මැල්ලවීර පවසන පරිදි ඔහු වඩා රුචි කරන සාහිත්‍ය ශානරය කෙටි කතාව වීමට බලපාන ලද්දේ තමාවම දැක ගැනීමට හැකියාව ලැබීමයි. මොහු නිර්මාණකරනයේදී පාඨක ප්‍රතිචාර සහ විචාරක අදහස් ගැන සැලකිල්ලක් දක්වනවාද යන්න විමසීමේදී පාඨක ප්‍රතිචාර මොහුට ඉතා වැදගත් වූ බව පෙනී යයි. සාහිත්‍ය නිර්මාණය තමාගේම ආත්ම තෘප්තිය සදහා කරන්නක්ය යන්න පිළිගත නොහැකි කරුණක් වන බවත් යමක් ලියා මුද්‍රණය කරන්නේ එය තවත් අය කියවනු ඇතැයි යන හැඟීමෙන් වේ. පාඨකයන් හෝ විචාරකයන් එය කියවා තම අදහස් පල කරන විට ලේඛකයා තෘප්තිමත් වේ. විචාරකයා කියන්නේ දියුණු පාඨකයෙක් වන අතර ඔවුන්ගේ දිරිමත් කිරීම් ලේඛකයා තෘප්තිමත් කරයි. සමහර විටෙක අධෛර්යමත් වෙන්නත් හැකි අතර එසේ වන්නේ නිර්මාණය අසාර්ථක නම්ය.
නිර්මාණ විචාරය ගැන අවධානය යොමු කරමු. සිය පියා මිය යෑම හා ඔහුගේ අවසන් කටයුතු නිම වන්නේ කෙසේද යන්නත් වස්තු විශය කොට ගනිමින් රචිත කෙටි කතාවක් ලෙස තාත්තාගේ මළගම ගත හැක.
උත්තම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන් ලියැවෙන මෙම කෙටි කතාව කියැවෙන්නේ රචකයා තුලිනි. අනෙකුත් චරිත ලෙස ඔහුගේ බිරිඳ අනුලාත් අයියා ජයරත්නත් මෙහි ඉදිරිපෙල චරිත දෙකක් ලෙස ගැනෙන අතර ඊටත් අමතරව ගමේ මරණාධාර සමිතියේ සභාපති ඒඩින් අයියා සහ පන්සලේ හාමුදුරුවන්ද මෙම කෙටි කතාවේ එන චරිත ලෙස දැක්විය හැක. චරිත වශයෙන් විමසු කල මෙහි කථකයා ආත්මාර්ථකාමී සමාජ සම්ප්‍රදායන්ට එකඟ සෘජු තීරණ ගැනීමේ අපහසු කුටුම්භ සංරක්ෂණය තුල දැඩිව එල්බුන මාමායනය ඇති කෙනෙකු බව දැක ගත හැක. සෙසු චරිතද එකකට එකක් වෙනස් චරිත ලක්ෂණ ප්‍රබල ලෙස මතු කරනු දක්නට නොමැති වුවත් පොදුවේ ගත්කල ආත්මාර්ථය, සමාජ අපවාදයට ඇති බිය, පශ්චත්තාපයට පත්වීම, තම මතයට අභියෝග එල්ල වෙනවාට ඇති අකමැත්ත යනාදී චරිත ලක්ෂණ නිරූපනය කරයි.
නාගරිකයන්ගේ ස්වභාවය නිරන්තරයෙන් ගොඩ නැඟී ඇත්තේ හරසුන් සමාජ පැවැත්ම, ඒකාකාරී බව යන කරුණු පදනම් කරගෙනය. ඒ බව මේ කෙටි කතාව ආරම්භයේදීම පෙනීයයි.
'සෑම සෙනසුරාදාවකම කිරිබත් පිසීම අනුලා පුරුද්දක් කරගෙන සිටි. කන්තෝරු යන සතියේ දවස්වල මෙන් කලිසම අදිමින් කමිසය මදිමින් මොනවා හෝ දෙයක් එහෙන් මෙහෙන් ගිල දමන අපගේ හදිසි කෑමට හිලව් වන්නට සේ අපි සෙනසුරාදා උදේට නිවාඩු පාඩුව හිඳ හිත කට පුරා වළදන්නෙමු'.
මෙසේ සිටින ඔහුට පැමිණෙන පණිවිඩයක් නම් සිය පියාගේ මිය යෑමයි. එහිදී ඔහුට සිහි වන්නේ පසුගිය කාලය පුරාවට ඔහුට යුතුකම් ඉටු කිරීමට නොහැකි වූ ආකාරයයි. ඒ බව ඔහුගේ සිතුවිලි වලින්ම පෙනෙන්නට තිබේ.
'පසුගිය අවුරුදු දෙක තුන තුළ මගේ සිතෙහි බොඳ වී තිබූ තාත්තාගේ රුව ඔප වී පැහැදිලි වී මගේ ඇස් ඉදිරියට පැන්නේය'.ඔයා පුදුම කතාවක්නේ කියන්නේ යන්න ඕන නේන්නං. පහුගිය කාලෙම අපි තාත්තා වෙනුවෙන් මෙලෝ දෙයක් කලේ නෑ. අඩු ගානේ උන්දා බලන්නවත් ගියේ නෑ'.
මෙම කෙටි කතාවේ ප්‍රධාන චරිතය පුතා වන අතර කථකයා ද ඔහුමය. මොහු සෙනසුරාදා දිනයේ බිරිඳට පවා උදව් නොකර විවේකයෙන් කල් ගත කිරීමට දරන උත්සාහයෙන් මොහු කෙතරම් දුරට විවේකීව ගත කිරීමට උත්සහ දරන්නේද යන්න තේරුම්ගත හැකි වේ. නාගරිකයන් කොතරම් දුරට එවැනි චර්්‍යාවන් තුලට හුරු වී ඇත්ද යන්න කෙටිකතාකරුවා පැහැදිලි කර ඇත. කථකයාගේ පවුල් පසුබිම අගහිඟකම් වලින් යුක්ත වාසය කිරීමට පවා හරිහමන් ස්ථානයක් නොමැති වීම තුළින්ද කරුණු රාශියක් තේරුම් ගත හැක. පවුල් පරිසරයෙන් කොළඹ පැමිණ රැකියාවක් කරන්නේ කථකයා පමණක් නිසා ඔහුට තාත්තාගේ මළගම වෙනුවෙන් කටයුතු රාශියක් කිරීමට සිදු වී තිබේ. එහෙත් ඔහුටද අත දිගහැර මුදල් වියදම් කිරීමට සිදුව ඇති නිසා ණයට රුපියල් දෙදාහක් ගෙන පියාගේ අවසාන කටයුතු වෙනුවෙන් සූදානම් වේ. යුතුකම් ඉටු කිරීමට නොහැකි වීම පිළිබද ඔහු තුල කනගාටුවක් පවතී
මනුෂ්‍යයාගේ ස්වභාවය සහ සමාජය පිළිබදව විශේෂ වශයෙන් අවධානයට ලක්කර ඇති මෙම කෙටි කතාව මගින් මූලික වශයෙන් උකහා දක්වන සමාජ පරිසරයන් දෙකකි. එනම් නාගරික සමාජය, ග්‍රාමීය සමාජය වශයෙනි. මෙම සමාජ ක්‍රමයන් දෙක අතර පවත්නා පරස්පරතාවයන් ඉතා සියුම් ලෙස ප්‍රකට කරන්නට රචකයා උත්සාහ දරා ඇත. භෞතිකමය වශයෙන් හා මානුෂීය ගති ලක්ෂණ වශයෙන් මෙම දෙකොටසෙහි පවත්නා විශමතා මෙමගින් හුවා දක්වයි. ග්‍රාමීය හා නාගරික මිනිසාගේ ආකල්පමය හා චර්්‍යාත්මක වෙනස්කම් මනාව විවරණය කරයි.
කොළඹ වැනි රටක තම පුතෙකු රස්සාවක් කිරීම ගෙයක් දොරක් සාදාගෙන සිටීම දෙමාපියන්ට මහත් ආඩම්බරයකි. මේ පියාටද එසේ සිතුවිලි සමුදායක් තිබූ අතර ඔහුගේ ප්‍රබල බලාපොරොත්තුවක් වූයේ සිය
පුතුගේ නිවහනේ දවස් දෙක තුනක් නතර වී සිටීමයි. එහෙත් කථකයා සිතන්නේ තමාගේ ප්‍රමාද දෝශය නිසා පියාගේ බලාපොරොත්තුව ඉටු කිරීමට නොහැකි වූ බවයි.
‘බැංකු ණයෙන් මා ඉදිකරගත් අලුත් නිවස දැක බලා ගන්නට තාත්තා තුළ පැවතියේ බලවත් ආශාවකි. තමාගේ දරුවෙකු කොළඹ රටේ ගෙයක් හදාගෙන පදිංචි වී සිටින එක තාත්තා සැලකුවේ ආෂ්චර්යයක් ලෙසිනි.
සිය පියාගේ ගැමිකම නාගරික සමාජයේ ජීවත් වන ඔහුට ගැටළුවකි. විශේෂයෙන්ම පියාගේ ඇඳුම වන බැනියම සහ අමුඩ ලේන්සුව ඔහු කොළඹ පැමිණියද අත් නොහරින බව කථකයා දැන සිටී.
‘වඩාත් බරපතල නොවූවත් තාත්තා කැඳවාගෙන ඒම වැලැක්වූ තවත් කරුණක් විය. තාත්තා දොරකඩ සිට මිදුලට බුලත් කෙල ගසන්නට ඉඩ ඇති බවත් කල්පනා වීමයි.
එහෙත් ඇඳුම් පැළඳුම් බුලත් කෙල ගැසීම් පදනම් කරගෙන සිය පියා නිවසට කැදවාගෙන නොපැමිණීම කෙතරම් අභාග්‍යසම්පන්නද මෙයින් පුතුගේ තත්වය පැහැදිලි වේ. නමුත් පියා මේ කිසිවක් නොදැන පුතු පිළිබදව මහත් ආඩම්බරයෙන් සිටි බවක් පෙනේ. පුතුගේ තත්වයට ගැලපෙන ලෙස මරණයේ කටයුතු සැකසීම නැවතත් ඔවුන්ගේ සමාජ තරාතිරම පෙන්නුම් කරවයි.
එහිදී පවතින සමාජ ආර්ථික වාතාවරණය තුළ නගරයේ මිනිසා අවිවේකීභාවයට පත්කොට ඇති ආකාරය විවරණය කරයි. ඒ තුළ මානව සම්බන්ධතාවය උවමනාවෙන් හෝ නුවමනාවෙන් අමතක කොට ඇත. දැන හෝ නොදැන ගිලිහී ගොස් ඇත. කථකයා තරමක අධ්‍යාපනයක් ලබා රැකියාවක් තෝරා ගැනීම, විවාහයක් කර ගැනීම, ගේ දොර සකසා ගැනීම ආදිය හරහා නගරයට සේන්දු වී පිළිවෙලක් සහිත ජීවිතයක් ගෙවන නමුත් ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන් හතර අත විසිර පවතී. ගමෙහි වෙසෙන ඔවුන් හෝ තමන්ගේ පියා පිළිබඳව හෝ සොයා බැලීමට කාලයක් ඔහුට නැත. නොඑසේ නම් ඒ සදහා උවමනාවක් නැත. කවර හෝ හේතුවක් ඉදිරිපත් කොට වගකීම් වලින් නිදහස් වීමේ මානවයා තුළ ඇති පුරුද්ද පිළිබඳ රචකයා විසින් මෙහිදී ඉස්මතු කරන්නට සමත් වී ඇත.
තවද මෙම කෙටි කතාවේ පදනම් අවස්ථාව වන තාත්තාගේ මරණය පිලිබද අවස්ථාව සැලකීමේදී ඊට අදාල කටයුතු මෙතුවක් පියා රැකබලා ගත් ඔහු සොහොයුරු ජයරත්නගේ අදහස් ඉවතලා පියාගේ මළගමට කොළඹින් පැමිණෙන තමාගේත් තම බිරිඳගේත් කාර්යාලවල පිරිස් පිළිබදව අදහස් මුලික කොට ගනිමින් ඔවුනට මුහුණ දීමට ගැලපෙන අයුරින් මරණයේ කටයුතු වලට අදාල පරිසරය නිර්මාණය කරයි. මෙහිදී ද ඔහුගේ පුහු මානය හා ඉහල සමාජයට අනුගත වීමේ කැමැත්ත හා උවමනාව ප්‍රකට කරයි.
'ලණු ඇදක තැබූ ඔප නැති මිනී පෙට්ටියක තාත්තාගේ සිරුර බාවා තිබිණ. එහි ඇඟ ලාබ සිල්ක් ඇඳුමකින් සරසා මුහුණේ ප්‍රමාණයට වඩා පුයර උලා ඇත. මිනී පෙට්ටිය අසල සුදුමැලි වී ගිය කඩදාසි මල් වඩමකි. එහි එක්සත් මරණාධාර සමිතිය යනුවෙන් ලියූ සුදු කාඞ්බෝඞ් කැබැල්ලක් එල්ලෙමින් තිබුණි. මෙමගින් ඉහත සදහන් කල දේ පෙන්නුම් කරයි. මගේ කන්තෝරුවෙන් පැමිණි පිරිස කොළඹින්ම ලොකු මල්වඩමක් ගෙන ආහ. සුදු ඇදගත් ඔවුන් පේලියට පැමිණ මල් වඩම තැන්පත් කොට හිස නමා තාත්තාට ආචාර කලේ භට හමුදාවක් පරිද්දෙනි.
වර්තමාන සමාජයේ තත්වය නම් මළගෙදරකට පැමිණ කිසිසේත්ම සැබෑ ශෝක වීමකින් දුක බෙදා ගැනීමක් සිදු නොවේ. එය එක්තරා සිදුවීමක් ලෙස පමණක් සිතනු ලබයි. තවත් එක්තරා සුවිශේෂී කරුණකි මළගෙදරදි චරිත නිරූපනය කරන පිරිස් කතා කරනවාට විනා ඉන් ඔබ්බට විශාල කැපවීම් කල පිරිස පිළිබඳව කතා නොකිරීමයි. බොහෝ දෙනෙක් කොළඹ සිට පැමිණි පුතා පිළිබදව විනා දුක් මහන්සි ව පියා බලාගත් අයියා ගැන කිසිවෙකු කතා කරන්නේ නැත. ඒ බව මෙසේ පෙන්වා දෙයි.
'පාංශුකූලය දීමට පැමිණි හාමුදුරුවෝ මගේ නම කිහිපවරක්ම ශබ්ද නගා උච්චාරණය කළහ'. කම්මැල්ලවීරගේ මෙම කෙටි කතාව මගින් වස්තු විෂය සාධනයේදී ඉස්මතු වන රසභාව කිහිපයක් හඳුනාගත හැක. කථකයාගේ හා ඔහුගේ බිරියගේ ඇතැම් හැසිරීම් පාඨකයා තුල හාස්‍ය දනවන අතර පාංශුකූලය අවස්ථාවේ පන්සලේ භික්ෂුව කරන කතාවද හාස්‍ය උපදවයි.එසේම දිළිඳු අසරණ ගම්වාසීන්ගේ ස්වරූපය කරුණා රසය ජනිත කරයි. මගේ කන්තෝරුවෙන් පැමිණි පිරිස වෙනුවෙන් කතා කළේ ගණකාධිකාරී සිරිවර්ධන මහතාය.
'මා නිතරම තාත්තා ගැන කන්තෝරුවේදී කතා කරන බවත් මාස්පතා පැමිණ ඔහුගේ දුක සැප බලා යෑමට පුරුදු වූ බවත් කී ගණකාධිකාරී මෙවැනි දරුවන් ලද පියා උදාර පුද්ගලයෙකු බවට සැකයක් නැතැයි කියනු ඇසෙන විට මට වටපිට බලා සිටිය නොහැකි විය.'
වසර දෙක තුනකින් පියා බැලීමට නොපැමිණි ඔහු පිළිබඳව මේ කරන වර්ණනා සැබෑ සමාජ යථාර්තයක් නොවේද ජීවත්ව සිටියදී තම යුතුකම් ඉටු කළේ නම් කෙතරම් සතුටු විය හැකිද.
නැවත පසුවදා ගෙදරට පැමිණ ජීවත් වන්නේ පුරුදු ජීවන රටාවෙනි. එහෙත් අභාග්‍ය උදා වී ඇත්තේ සිය සොයුරාටය. කථකයා තම සිතැඟි පරිදි තාත්තාගේ මරණයේ කටයුතු සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී ඔහුගේ ගමේ සොහොයුරු ජයරත්නට සිය ගමෙහි වාසය එපා වෙයි. ගම් වාසීන් විසින් ඔහුව නොසලකා හැරීම නොඑසේ නම් ගමෙන් ඔහුව කොන් කිරීම ඊට හේතුවිය. තාත්තාගේ මලගමට පෙර ගම්වාසීන් ජයරත්නට වෙනසක් නොමැතිව උදව් උපකාර කල නමුත් මලගමෙන් පසු තත්වය වෙනස් විය. විශේෂයෙන් තාත්තාගේ මරණය සම්බන්ධයෙන් කටයුතු කල ආකාරය පිළිබඳ මුල සිටම ගම්මුන් තුළ අප්‍රසාදයක් දක්නට ලැබුණි. සම්ප්‍රදායට එරෙහි වීම ගමේ මතය ඉක්මවා යාම ඇතැම් විට එම කටයුතු සිදු වූ ආකාරය පිළිබඳ ඊර්ෂ්‍යාවද එහිලා හේතු ලෙස සැලකිය හැකිය. නමුත් ඒ සියල්ල සිදු වූයේ ජයරත්නගේ උවමනාවට නොවන බව තේරුම් නොගත් ගැමියෝ අවසන කවර හේතූන් මත ජයරත්න ගමෙන් කොන් කිරීමට ක්‍රීයා කරයි. එමගින් ගැමියන්ගේ නූගත්භාවය හා ඒ මත වැරදි තීරණ වලට එළඹීමේ ස්වභාවය පිළිබඳ රචකයා මනාව පිළිබිඹු කොට ඇත. අනෙක් අතට උගත් කථකයාගේ ආත්මාර්ථකාමී හා විචක්ෂණශීලී නොවූ තීරණ පිළිබඳ අදහසක් ද මෙහිදී පැන නගි.
'ලිපිය ලැබී සති දෙකකට පසු අයියා මා හමුවීමට කොළඹ පැමිණියේය. තමා පැමිණියේ පොඩි බිස්නස් එකක් කරන්න සල්ලි ටිකක් ණයට ඉල්ලා ගන්න පුළුවන්ද බලන්න යයි කි විට මගේ ඔළුව අවුල් විය.'
මෙම චරිතය තුලින් සැබෑවටම තමා දෙසත් තම පවුල දෙසත් පියා ඇතුළු ගෙදර අය ගැනත් ඇසුරු කල අය ගැනත් විවිධාකාරයේ සිතුවිලි පල කරන පුද්ගලයෙකු ලෙස නිරූපනය වී තිබේ.ගමෙහි ලක්ෂණ ලෙස මරණයකදී තම උපරිමයෙන් සාමූහිකව දුකසැප බෙදා ගනිමින් කටයුතු කරයි.
එසේම සංකේත, සංකල්ප රූප, අවස්ථා හා සිද්ධි, නිරූපන, පරිසර වර්ණනා ආදිය මෙම කෙටි කතාවේදී විශේෂයෙන්ම හඳුනාගත හැකිය. වර්තමාන සරල සිංහල ලේඛනය උපයෝගී කරගෙන ඇති අතර සංවාදාත්මක ස්වරූපයන්ද යම් යම් අවස්ථාවල භාවිතයට ගෙන ඇත. මෙකී රචනා උපක්‍රම කෙටි කතාකරුවෙකු භාවිතයට ගන්නා උපක්‍රම වන අතර ඒවා කම්මැල්ලවීරයන් සිය ප්‍රස්තුතය තීව්‍ර ලෙස සහෘදයාට දැනවීමට නිර්මාණශීලිව හසුරුවා ඇත.
අවසාන වශයෙෙන් 'තාත්තාගේ මළගම' නම් මෙම කෙටි කතාව මගින් ග්‍රාමීය හා නාගරික වශයෙන් මිනිසා හා සමාජය අතර වෙනස්කම් පිළිබඳ සහෘදයාගේ ඥාණය වර්ධනය කෙරෙන අතර එකී සමාජයන් දෙක අතරම මිනිසා ආකල්පමය වශයෙන් වෙනස් වීමේ අවශ්‍යතාව සියුම්ව ඉස්මතු කරයි...
ශෂිකා විරාජිණි සෙනෙවිරත්න
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය