dep. mass communication

Wednesday, 3 July 2019

හමුවීම



පැයකට හමාරකට වඩා ඇද හැලුණු  වර්ෂාව දැන් නතර වී තිබේ. වියළි කාලගුණයක් පැවති මේ කාලයේ වැස්ස බිමට ආශිර්වාදයක් වුවද, දිගටම වැස්ස පවතීවි යැයි මම බිය වුණෙමි. හිසරදය සෑදී මෙතෙක් වෙලා ඇදට වී වැතිර සිටියද මා සිටින්නට ඇත්තේ නින්දත් නොනින්දත් අතර වන්නට ඇත. පුතු පෙනෙන්නටවත් නැත. පුතු හා නිර්මාල් හෝටලයේ පහලට යන්නට ඇත.
පුතු පියාට වඩා මවට ලං වූවත් සිතුම් එසේ නොවීය. ඔහු පියාට බොහෝ සෙයින් ආදරය
කරයි. ඔහුද පියා මෙන් දක්ෂ ව්‍යාපාරිකයෙකු වනු ඇත. මුඵ නිවසම කලබලකාරී වී ඇත. තවමත් නිදන ඇඳුමෙන් සැරසී උන් මම බෑගය තුලට ඇඳුම් අඩුක් කලේ අලස බවකිනි. ඇඳුම් බෑගයද රැගෙන සාලයට යද්දී අම්මා මා දෙස බැලුවේ පුදුමයෙන් මෙනි.
‘නිත්‍යා...තවමත් ඔයා ඇදගත්තේ නැද්ද ඉක්මන්ට ඇඳ ගන්න අප්පා ලෑස්තිත් වෙලා ඉවරයි...’
‘මොනවද මන්දා...’
මා කාමරයට ගියේ නොරුස්නා ගතියෙනි.
‘බලන්නකෝ නිත්‍යාට ගෙදර ආවාහම ආයේ යන්න හිතක් නැති හැටි...’
ගෙතුළට ගිය අම්මා අප්පා සමග පවසනු මට ඇසිණි.
‘හුරතලේට හැදිච්ච කෙල්ලනේ.’
සැබැවින්ම නිවසට ආ පසු ආයෙ යන්නට හිතක් මට නැතිවා සේය. අපව දකින්නට
කොළඹට ආ අම්මාත් අප්පාත් සමග පුතු සහ මම යාපනයට එවන්නට නිර්මාල් කැමති වූයේ සති තුනකින් නැවත නොවරදවාම එන්නට පොරොන්දු කරගෙනය. අද එ් දවසය. අනිවාර් යයෙන්ම කොළඹට යා යුතුය.
‘නිත්‍යා සාරියක් ඇද ගන්න තනියම යන එකේ...’
තනිව ගමන් බිමන් යද්දී මා සල්වාර් ඇඳුමෙන් සැරසෙනවාට අම්මා අකමැතිය. සාරිය හැඳ ගමන් කිරීම අපහසු වුවද එය එක් අතකින් ආරක්ෂාකාරී හැඟීමක් ඇති කරන්නීය. දමිළ ජාතිකයන් වන අපට වැඩිවියට පත් වනතුරු සාරිය ඇඳීම තහනම්ය.
මම ඉක්මනින් සාරිය හැඳ ගතිමි. මගේ කොණ්ඩය දිගු බැවින් එය ගොතා කලින් සකසා තිබූ පිච්ච මල් වැල ගසා ගන්නට මට තරමක වේලාවක් ගත විය.
‘කණගාබරම් මල් ටික ෙග්න්න කියන්න බැරි වුනා...’
මා කොණ්ඩයෙහි මල් ගවසන ආකාරය බලා සිටි අම්මා පැවසුවාය. පිච්ච මල් වෙනුවට
කණගාබරම් මල් තිබුණේ නම් හොදයි යැයි සිතුනේ බසයේ යන ගමනේදී පිච්ච මල් පරවීමට ඉඩ ඇති බැවිනි.
‘මෙන්න මේකෙ චපාති තියෙනවා මගට කන්න..මේකෙ බිස්කට්..සිතුම්ගේ සෙරිලැක් මේ බෝල් එකේ..මේ ෆ්ලාස්ක් එකේ කිරි..මේකේ වතුර..’
අම්මා විස්තර කලාය.
‘මේ ඔක්කොම මට තනියෙන් අරන් යන්න පුළුවන්ද මම නාහෙන් ඇඩුවෙමි...’
‘තනිය මොකක්ද යාපනයෙන් බස් එකේ යන එක විතරයි කරදර..අනුරාධපුරෙන් කෝච්චියට නැග්ගහම කොටුවට නිරමාල් එනවනේ...’
මා බස් රියේය. නොයෙක් ජාතීන්ගෙන් එය පිරී තිබුනි. සිතුම්ට නින්ද ගොස්ය. මාද
ජනේලයෙන් ඉවත බලා සිටියෙමි. එක්වරම සිතුම් නින්දෙන් පිබිදී හඩන්නට විය. ඔහුව නලවා ගන්න උත්සහ කලද හැඩුම කෑ ගැසීමක් දක්වා දරුණු විය. මා මහත් අපහසුතාවයට පත් වී සිටි අතර මා අනෙක් පස සිටි තැනැත්තා අනුකම්පාවෙන් මෙන් මදෙස බලා සිටියේය. අනෙක් සියල්ලන්ද මුණු මුණු ගා මොනවාදෝ කියනු ඇසීය. එක් කාන්තාවක් අනේ ඔය ළමයා නලව ගන්නකෝ යැයි පැවසීය.
‘සමාවෙන්න...ඔහොම බබාව තියාගෙන ඉන්න අමාරුයි නේද..මම බබාව ගන්නද..’
‘මිස්ටර්ට කමක් නැත්තම්...’
සිතුම්ගේ කෑ ගැසීම මදක් පහ විය. ඔහු දරුවාත් සමග සෙල්ලම් කරන්නට විය. මට සිතුම් ගැන තරහක් ඇතිවිය. ඒ නන්නාඳුනන පුද්ගලයෙකු අතේ දඟ කරනු දැකීම ගැනය. සිතුම් මා අතට ගන්නට සාදද්දී ඔහු නැවතත් හැඩීමට මෙන් වෙර දැරුවේය. සිතුම් හරියට තම පියා සමග සිටිනවා මෙන්ය. ඔහුත් සමග සිටින්නේ.
 මට නිර්මාල්ව සිහි විය. මගේ 18 වෙනි උපන් දිනය දා යොදා තිබූ විනෝද චාරිකාවේදී ඔහු මට හමුවිය. මාගේ සෑම උපන් දිනයකදීම විනෝද චාරිකාවක් ගොස් විනෝද වෙන්නට නිවසින් මට ඉඩ සලස්වා දෙන ලදී. අපි සෑම දිනකම යනවා වාගේ එදිනද අප අවසාන වශයෙන් කීරමලෙයිහි සුප්‍රසිද්ධ පොකුණ බලන්නට පැමිණියද මට ඇති වීමක් නොවීය. මෝටර් රථයෙන් බැසගත් අම්මාත්, අප්පාත්, මමත් පොකුණ දෙසට ගමන් කළෙමු. අම්මා අප්පාත් සමග ටිකක් ඈතට ගිය අතර මම එහෙමම නතර වී සිට පොකුණ දෙස බලා සිටියෙමි.
‘ස්...ස්...’
කිසිවෙකුගේ කටහඩක් මා පිටුපසින් ඇසුණු නිසා හැරී බැලීය. අම්මාද මා ළගට එමින් සිටියෙමි. තරුණයන් දෙදෙනෙකු අපට පිටුපසින් පැමිණ ඇති අතර අප බලද්දී ඔවුහු බිම බලා ගත්තේ මගේ මුවට සිනහවක් නංවමිනි. අම්මා මාත්, තරුණයන් දෙදෙනා දෙසත් බැලුවේ සැකමුසු නෙතින් යුතුවයි.
‘මීනක්ෂි නාන්නේ නැද්ද...’
මා දෑත් පොරවාගෙන බලා සිටියදීම අම්මා පැවසුවාය.
‘නෑ...’
‘ඇයි?’
යලිත් හැරි බැලු අම්මා විමසුවාය. ඒ වනවිට තරුණයන් දෙදෙනා පෙනෙන්නට නොසිටීය.
‘අද උදේ මගේ උගුර රිදුනා...’
‘කලින් ඔය කතාවක් මට කීවේ නෑනේ...’
‘එච්චරම රිදෙන්නේ නෑ...ටිකයි...’
මට පොකුණෙන් නාන්නට කම්මැලි බවක් දැනී තිබුණි. සෙනසුරාදා දිනයන්හි හිසතෙල් ගා නෑම අපිට අනිවාර්යය. එදින සෙනසුරාදා දිනයක් නොවීම මගේ සහනයට හේතු විය. අම්මාත් අප්පාත් පොකුණට බසින තුරු බලන් සිටි මම පොකුණේ බැම්ම ආසන්නයට වී මහා සයුර දෙස බලා සිටියෙමි.
‘ස්...ස්...’
කිසිවෙකුගේ හඩක් ඇසිණ. වහා පිටුපස හැරී බැලු මා දුටුවේ මා පසුපසින් සිටගෙන සිටින තරුණයින් දෙදෙනාය. මම වහා ඉවත බලා ගතිමි.
‘ස්...ස්...’නැවතත් එම හඩ ඇසිණ. පසුපස හැරී බලන විට දුටුවේ ඔවුන් වඩාත් මා හට සමීපව සිටින බව පමණකි.
‘ඔයා නාන්නේ නැද්ද...’
තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකු ඇසුවේය.
‘නෑ...’
‘ඇයි...’
‘මට නාන්න ඕන කමක් නැති නිසා...’
තරුණයින් දෙදෙනා හඬ නගා සිනාසුනේ මා විහිළුවක් කල කලෙක මෙනි.
‘ඔයා ටැමිල්ද...’
තරුණයින් දෙදෙනාගෙන් වඩාත් කඩවසම් හා විනීත පෙනුමක් ඇති තරුණයා මා සමීපයට විත් සිට ගත්තේය.
මම හිස වැනිමි.
‘ජැෆ්නද...’
යලිත් මම හිස වැනිමි.
තවත් මොන මොනවාදෝ කතා කල බවක් මාගේ මතකයේ තිබිණි.
පසුව ඔහුගේ යහළුවද එතැනට පැමිණි අතර ඔහු තමාවද කඩවසම් තරුණයාවද හදුන්වා දුන්නේය.
‘මම නවීන්..මේ නිර්මාල්’
‘ඔයාගේ නම මොකක්ද..’
නිර්මාල් ලෙස හැදින්වූ තරුණයා ඇසීය.
එවර මම ඔහුගේ මුහුණ දෙස සෘජුව බැලුවෙමි. නිල් දිය පිරුණු පොකුණක් බඳු වූ ඔහුගේ දෙනෙත් වලින් පල වූයේ අව්‍යාජත්වයයි.
මම නිත්‍යවානී..’
‘ලස්සනයි බලන්න මේ නිත්‍යවානී සෝබනා..’
නවීන් නමින් හැදින්වූ තරුණයා ගැයුවේය.
‘තරහා වෙන්න එපා මෙයාට ටිකක් පිස්සු...’
නිර්මාල් පැවසුවේය. මට සිනහ පහල විය.
‘නවීන් උඹත් ගිහින් නා ගනින් ගඳ නැති වෙන්න..’ ඔහු මිතුරාට විහිළු කළේය.
‘හරි දැන් උඹට ඕන මාව පන්න ගන්නනේ මේන් මන් ගියා...’
නවීන් අප අසලින් ඉවත්ව ගියේය. මට සහනයක් දැනිණ. ජීවිතයේ පලමු වතාවට නිර් මාල් මගේ සිත වශී කරගෙන ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි මට සිතා ගත නොහැකි විය.
‘ඔයාගේ ගම කොහෙද..’
‘අපි මාතර දැනට මම මහරගම පුංචි බිස්නස් එකක් කරගෙන යනවා...’
නිර්මාල් සාක්කුව තුළින් ගත් කාඞ්පතක් මා අත තැබුවේය. මා එය නොබලාම මගේ අත් බෑගය තුලට දමා ගතිමි.
‘නිත්‍යා ලස්සනයි...’
මද වෙලාවක් මදෙස බලා සිටි නිර්මාල් පැවසුවේය. මේ යටි හිත කිති කැවිණි. එය ආදරයද යන්න මම නොදනිමි. දුටු පමනින්ම කෙනෙකු ගැන ආදරයක් ඇති විය හැකි දැයි මට එදා තේරුම් ගත නොහැකි විය.
        නිර්මාල්ට ටැමිල් කතා කිරීමේ හැකියාව තිබිණි. මමත් සිංහල ඉගෙන ගැනීම සදහා සිංහල පංතියකට ගිය බැවින් සිංහල කතා කිරීමේ අපහසුව නොතිබිණි. අප දෙදෙනාගේ අදහස් තේරුම් ගැනීමේ හැකියාව ඒ නිසා එතරම් ගැටලුකාරී නොවීය.
         අලුත් අවුරුද්දේද ඊට අදාළ චාරිත්‍ර සැමරීමේදී වැඩි වෙනසක් නොවීය. නිර්මාල් සමග මම පන්සලටත් මා සමග නිර්මාල් කෝවිලටත් ආගමික වතාවත් ඉටු කිරීම සදහා පැමිණියේය. එකිනෙකාගේ ආගම් ඇදහීමේ නිදහස අපිට ඇති අතර අපේ පුතු සිතුම් මාගේ හෝ නිර්මාල්‍‌ෙග් ආගමක් අදහනු ඇත. ඔහු කුමන ආගමක් ඇදහීමට කැමැත්තක් දැක්වූවත් අප දෙදෙනා එය ප්‍රශ්නයක් කර නොගන්නෙමු. යාපනයේ අප නිවසේදී සෑම දිනකම උදෑසන 4-30ට පමණ අම්මාත් මමත් පිබිදෙන්නට පුරුදුව සිටියෙමු. උදෑසන 5 වන විට අම්මාත් මමත් ලක්ෂ්මී දේවියට ගිතෙල් පහනක් තබා ස්තෝත්‍ර ගායනා කරන්නට වෙමු. නිර්මාල් හා විවාහ වීමෙන් අනතුරුව ඔහුගේ නිවසේදීද මෙම පිළිවෙත මා නොකඩවා කල අතර කිසිවිටෙක ඔහු මට බාධා නොකලේය.
         නිර්මාල්ෙග් හමුවීමත් අප ආගම් දෙකක වීමත් ඔහුටවත් මටවත් අප පවුලේ අයටවත් බාධාවක් නොවීය. ආගම් දෙකක සහ සංස්කෘතික වශයෙන්ද විවිධත්වයන් පැවතුණත් එකිනෙකාගේ ආගම් වලට ගරු කිරීමට අප දෙදෙනාත් පවුලේ අයත් කටයුතු කිරීම ගැන මට ඇත්තේ සොම්නසකි. ලෙහෙසියෙන් සිදු නොවන විවාහයක් අප දෙමව්පියන්ගේ දැඩි අකමැත්තකින් තොරව සිදු කිරීමට ලැබිම භාග්‍යයක් යැයි මට සිතේ. හැමදේම පවතින්නේ මිනිස් සිත තුළ යැයි මට පසක් වේ.
                                                                                            
                                                                                             w.s.v. සෙනෙවිරත්න
                                                                                             ජනසන්නිවේදන අධ්‍යන අංශය
                                                                                             කැලණිය විශ්වවිද්‍යාලය

4 comments: