dep. mass communication

Tuesday, 2 July 2019

ඡායාරූප සහ ආචාර ධර්ම

(ඡායාරූප සමඟ වෙබ් මාධ්‍යවේදීන්ගේ ආචාර ධර්ම ගැටෙන ආකාරය)



                                           
                            මුද්‍රිත මාධ්‍යයන් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන් වගේම නව මාධ්‍ය යටතේ එන වෙබ් අඩවි වලටත් ආචාර ධර්ම පද්ධතියක් තිබීම අත්‍යවශ්‍ය වේ. පුවත්පත් වලටද ආචාර ධර්ම පද්ධතියක් තිබෙන අතර 2008 වසරේ ජනමාධ්‍ය විද්‍යාලය සහ පුවත්පත් පැමිණිලි කොමිසම එක් වී එම ආචාර ධර්ම නැවත සකස් කොට වෙබ් අඩවි පිළිබඳවද  ආචාර ධර්ම ඇතුලත් කොට ඇත. වර්තමානයේදී ඇතැම් බ්ලොග් අඩවි පවත්වාගෙන යන පිරිස්ද මාධ්‍යකරුවන් බවට පත් වී ඇත.  ජනමාධ්‍යකරණයේ නියැලීම වෘත්තීය මාධ්‍යකරුවන්ට සීමා වූවක් පමණක් නොව එය  ඕනෑම පුරවැසියෙකුට දායක විය හැකි ක්‍රමවේදයක් වී ඇත. එය හේතුකොටගෙන වෘත්තීය මාධ්‍යවේදීන්ට පමණක් නොව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන ඕනෑම පුරවැසියෙකුට මෙම ආචාර ධර්ම සුරැකීමේ වගකීමක් ඇති බව පෙන්වා දිය හැකිය.
විශේෂයෙන්ම අන්තර්ජාල භාවිතයේ ඇති සමාජ මාධ්‍ය ඉතා බරපතල ලෙස පෞද්ගලිකභාවයේ අයිතිය උල්ලංඝනය කරන බවට චෝදනාවක් පවතී. එසේම තාක්ෂණයේ ඇත්තා වූ නවීනත්වය තුළ සාම්ප්‍රධායික නීති රීති අණ පනත් හෝ වෙනත් ප්‍රාථමික ක්‍රමවේදයන් මගින්  තොරතුරු සන්නිවේදනය වීමද වැලැක්වීමට නොහැකිය. මේ අයුරින් කිව හැක්කේ අන්තර් ජාලය තුළ පවතින විවිධ වෙබ් අඩවි තුළ ආචාර ධර්ම පිළිපැදීම මෙන්ම කඩවීමද අධ්‍යනය කිරීම ඉතා වැදගත් බවයි.
ශ්‍රී ලංකා   වෙබ් අඩවිය මෙරට වාරණයට ලක්කර තිබෙන අතර වෙබ් අඩවි හා සමාජ ජාලාවල පළවන ඇතැම් තොරතුරු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටද මෙමගින් හැකි වී තිබේ. අතිශය නිදහස් අවකාශයක් වන අන්තර් ජාල ප්‍රකාශන සම්බන්ධයෙන් මර් ධනීය පියවර ගැනීම ගැන විරෝධයක්ද අන්තර් ජාල භාවිතා කරන්නන්ගෙන් එල්ල වී තිබේ.
වෙබ් මාධ්‍ය සංගමයේ ආචාර ධර් ම පද්ධතිය අදාළ වන්නේ වෘත්තීමය වශයෙන් වෙබ් අඩවි පවත්වාගෙන යන පිරිසට රජයේ වරප්‍රසාදයන්, වෙළෙඳ දැන්වීම ආදිය ලබා ගැනීම සඳහා මෙම ආචාර ධර්ම පද්ධතියට නතු වීමට සිදුවනු ඇත.
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති ජනමාධ්‍ය ආචාර ධර්ම හැඳින්වීමෙහි අනෙකුත් මාධ්‍යයන් ආචාර ධර්මයන් පිළිපැදිය යුතු වනවා සේම වෙබ් අඩවි පවත්වාගෙන යාමේදීද ආචාර ධර්මයන්ට එකඟව පවත්වාගෙන යා යුතු බව මෙපරිදි සදහන් කල හැකිය. ජනමාධ්‍යවේදයෙහි උසස්ම ප්‍රමිති පවත්වාගෙන යන අතරම ශ්‍රී ලංකාවේ විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය වෙබ් අඩවි වල අන්තර්ගතය නිදහස් වගකීම් සහගත සහ පාඨක ප්‍රේක්ෂක උවමනා සහ අපේක්ෂාවන්ට සංවේදී බව සහතික කිරීම අරමුණු කරගත් මෙම ජනමාධ්‍ය ආචාර ධර් ම සංග්‍රහය, වෙබ් අඩවි ඇතුළු සියලුම විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසින් පිළිපැදිය යුතුය.


සමයංට එරෙහි පාතාල ‘සමයම’ යන පාඨය ඔස්සේ පළවුණු  ඡායාරූපයක්
www.lankadeepa.lk/sunday/main
එනම් මා දී ඇති මාතෘකා වලින් තෝරා ගනු ලැබූවේ මියගිය පුද්ගලයෙකුගේ ශරීරයට අදාළ දර් ශනයකි. මෙම සිදුවීම නම් බන්ධනාගාර භාරයේ සිටියදී සැකකරුවෙකු මියයාමට අදාළ දර් ශනයකි. පාතාල කල්ලි දෙකක් සමඟ දීර්ඝ කාලයක සිට පැවති ප්‍රතිඵලයක් ලෙස සමයං ඇතුළු පිරිස ඝාතනය කරන ලදි. බන්ධනාගාර බස් රියේ සිටියදී වෙඩි තබා පසුව පඩි පේළියට ගෙනවුත් වෙඩි තබා ඝාතනය කරන ලදි. බසයේ පඩි පේළිය අසල මියගොස් සිටින සමයංගේ ඡායාරූපය www.lankadeepa.lk/sunday/main වෙබ් අඩවියේ පළ වී තිබුන ආකාරය ඉහතින් දැක්වේ. මේ අනුව එම ඡායාරූපය වෙබ් මාධ්‍ය ආචාර ධර්ම  සංග්‍රහයත් සමඟ එකට ගැටෙන ආකාරය විමසා බලමු.
වෙබ් මාධ්‍ය ආචාර ධර්ම වලට අනුව
2. වගකීම්
 පහත වෙබ් මාධ්‍ය ආචාර ධර්ම වෙත අනුකූල වීමේ මූලික වගකීම වෙබ් අඩවි සහ සියලු ආකාර ලිපි, විශේෂාංග, ප්‍රවෘත්ති තොරතුරු, ඡායාරූප, හඬ පට සහ වීඩියෝ යන මේවා සපයන සියලුම පුද්ගලයන් වෙත පැවරේ.
එසේම එවැනි ජනමාධ්‍යවේදීන්ගේ සංවිධාන සහ සමූහයන් වෙතද, කාලීන සහ ඇතිවන්නා වූ සිදුවීම් සම්බන්ධයෙන් මහජන අවබෝධය ඇති කිරීම, සංවාදයන් ගොඩනැගීම සහ ඒවා පිළිබඳ තොරතුරු, දැනුම හා ප්‍රවෘත්ති බෙදාහැරීම සිය මූලික අරමුණු කරගත් ප්‍රවෘත්තිමය වෙබ් අඩවි ද මෙම ආචාර ධර්ම වෙත අනුකූල වීමට එකසේ වගකීම් දරනු ලැබේ.
එසේම දෙන ලද ඕනෑම අවස්ථාවක එවැනි වෙබ් අඩවිවල පවතින තොරතුරු සම්බන්ධයෙන් ඒවායේ නීතිමය හිමිකාරීත්වය දරන්නන්, කතෘවරු හෝ එවැනි වෙබ් අඩවිවල පරිපාලක කාර්යය  සිදු කරන්නන් විසින් මුළුමනින්ම වගකිව යුතුය. එවැනි වෙබ් අඩවියක් වෙත තම නමින් එකතු කරන්නා වූ ඕනෑම ආකාරයක අන්තර්ගතයක් සදහා වන වගකීම අදාළ මාධ්‍යයෙහි සංස්කාරකවරයා/ප්‍රකාශකවරයා web admin හිමිකරු යන මේ අය විසින්ද දැරිය යුතු වේ.
■ ඒ අනුව මා තෝරාගත් ඡායාරෑපය e-paperයක  පල වීමත් ලංකාදීප අන්තර්ජාල පුවත්පත ප්‍රවෘත්ති බෙදා හැරීම සිය මූලික අරමුණ කරගත් ප්‍රවෘත්තිමය වෙබ් අඩවියක් වීමත් මෙම ආචාර ධර්ම වලට අනුකූල වීමට එක සේ වගකීම් දැරිය යුතුය.
■ එසේම කාලීන වශයෙන් රටේ සිදු වන්නා වූ විවිධ තත්වයන් වාර් තා  කිරීමද වැදගත් වන අතර ඒ අනුව සමයං ඇතුළු සිරකරුවන් බන්ධනාගාර බස්රියේ සිට කඩුවෙල අධිකරණය වෙත රැගෙන යාමේදී මැරයින් විසින් එල්ල කරන ලද වෙඩි පහරින් මරණයට පත්විය. සමයං බසයේ පා පුවරුව තුළ ඇඳ වැටී සිටින ආකාරය මෙම ඡායාරූපය තුලින් පැහැදිලිව පෙනෙන අතර මෙහිදී බන්ධනාගාර ආරක්ෂාව සම්බන්ධයෙන්ද අධිකරණය වෙත සැකකරුවන් රැගෙන යාමේදී ලබා දෙන පොලිස් ආරක්ෂාවේ ප්‍රමාණයේ තරම නිසා සිදු වූ ඝාතනය මෙම ඡායාරූපයෙන් මනාව පෙනේ. ඒ පිළිබඳව සංවාද ගොඩනැඟීම අවශ්‍ය වේ. නමුත් එවැනි සංවාද සිදු වුනාද යන්න ප්‍රශ්නයකි.
■ මෙම ඡායාරූපය පළ කිරීම සම්බන්ධයෙන් වන වගකීම් වෙබ් ඇඞ්මින් යන අය දැරිය යුතු වේ. නමුත් මෙලෙස පල කරන ඡායාරූප ආචාර ධර්ම වලට පටහැනි ලෙස ක්‍රියාත්මක වන බව දක්නට ලැබේ. වෙබ් මාධ්‍යකරුවන් ලෙස තමන් විසින් පල කරන ඡායාරූප සම්බන්ධයෙන් වගකීමකින් යුක්තව කටයුතු කරනවාදැයි යන සැකය පල වේ.
3. තොරතුරු සහ ප්‍රවෘත්ති වාර්තාකරණය
 ඉලෙක්ට්‍රෝනික සහ මුද්‍රිත යන දෙයාකාරයේම  මාධ්‍ය සමඟ සන්සන්දනාත්මකව බලන කල වෙබ් ප්‍රවේශයන් හරහා තොරතුරු වාර්තා කිරීම යනු අසාමාන්‍ය තරමේ වේගයකින් යුත් කාර්යක්ය යන්න පොදුවේ පිළිගැනේ.  
■ ඒ අනුව අන්තර්ජාලය වෙත එක් කරන ඡායාරූපයක් වුවද ඉතා වේගයෙන් හුවමාරු වන තත්වයක් පවතී.
එලෙසින්ම, භූගෝලීය දේශසීමා බාධක ඉක්මවා යන්නටත් එතැනින්ද නොනැවතී උසස් තාක්ෂණික ක්‍රියාදාමයන් හරහා සිය අදාළත්වය ඉහළ නංවාගන්නටත් සමත් වූ සන්නිවේදන ව්‍යුහයන්ගෙන් සමන්විතව විශ්ව ගම්මානයක් බවට පත් වූ ලෝකය තුළ වඩාත් වේගයෙන් සහ සියල්ලන්ටම ප්‍රථමයෙන් තොරතුරු සහ ප්‍රවෘත්ති ලබා දෙන්නා බවට පත් වීමේ තරගයක්ද ජනමාධ්‍ය ආයතන අතර සහ ඒවා අභ්‍යන්තරයෙහි ගොඩ නැංවී ඇත.
■ සියල්ලන්ටම ප්‍රථමයෙන් තොරතුරු ලබා දීමට උත්සහ කරන තත්වයක් තුළ සංස්කරණය නොකළ ඡායාරූප ලබා දීමේ තත්වයක් ඇති වේ.
ෆේස් බුක්, යු ටියුබ්, සහ ට්විටර් වැනි සෙසු සමාජ මාධ්‍ය භාවිතා කරමින් සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා පුළුල් පැතිරීමක් අත්පත් කරගැනීමේ අමතර හැකියාවද වෙබ් ජනමාධ්‍ය සතුව ඇත. වෙබ් මාධ්‍ය සතු මෙම ගුණාංග මතින් නිර්මාණය කෙරෙනුයේ කිසියම් අන්තර්ගතයක් වෙබ් මාධ්‍යයක් වෙත එක් කරන ඕනෑම ජනමාධ්‍යවේදියෙකුගේ පාලනයෙන් ගිලිහී යා හැකි ආකාරයේ තත්වයකි.
■ සමාජ ජාලා මාධ්‍ය නිසා පුළුල් ලෙස තොරතුරු හුවමාරු වනවා මෙන්ම ඒ තුලින් වැරදි තොරතුරුද ජනතාව අතට පත් වේ. ඡායාරූපද විකෘතියකින් යුතුව ජනතාව වෙත ප්‍රචාරය වීමට ඉඩ ඇත. ජනමාධ්‍යවේදීන්ගේ පාලනය අතින් එය ගිලිහී යාම එයට හේතුවයි.
වෙබ් මාධ්‍ය භාවිතය තුළ මෙතරම් තරඟකාරී සහ පාලනය කළ නොහැකි තරම් වේගයෙන් වෙනස්වෙන සුළු ස්වභාවයක් පවතින බව සත්‍ය වුවද ස්ව අභිමතය පරිදි අන්තර්ජාලයේ සැරිසරන්නන් වන සමාජය සහ මහජනතාව වෙත වෙබ් ජනමාධ්‍යවේදීන්/වේදිනියන් විසින් දැරිය යුතු වගකීම අඩු වීමට එකී ස්වභාවය හේතුවන බවක් එයින් අදහස් නොවේ.
■ ඒ අනුව තොරතුරු ඉක්මනින් ගලා යනවා යැයි කියා ඡායාරූප සම්බන්ධයෙන් වගකීමකින් යුක්තව කටයුතු කිරීම පැහැර නොහැරිය යුතුය. සමයං බන්ධනාගාර බස් රියේ මැරී වැටී සිටින ආකාරය සමාජ ජාලා මාධ්‍ය වල ඉතා ඉක්මනින් පැතිර ගිය අතර බන්ධනාගාර නිළධාරීන්ගේ අපරික්ෂාකාරී බව සහ රජය විසින් සැකකරුවන්ට ලබා දී තිබෙන ආරක්ෂාකාරී බව පිළිබදව මෙහිදී ප්‍රශ්නකරන ලදි. ජාත්‍යන්තරයේ පවා කතා බහ කරන ප්‍රවෘත්තියක් බවට මෙය පත් වුණි. පල කල ඡායාරූපය එයට බොහෝ සේ බලපෑම් කර තිබුණි.
වෙබ් මාධ්‍ය වෙත එක් කරනු ලබන අන්තර්ගතයන් ඕනෑම අවස්ථාවක අනපේක්ෂිත තරම් පැතිර යා හැකි වීමේ ගුණය යනු වෙබ් ජනමාධ්‍යවේදීන්/වේදීනියන්ට තම තමන්ගේ වෙබ් අඩවි තුළ ප්‍රකාශ කරනු ලබන කාරණා සම්බන්ධයෙන් වඩාත් බරපතල ලෙස සිතන්නටත් වගකීම ගන්නටත් හේතුවක්මය.
වෙබ් මාධ්‍ය භාවිතයෙහි නියැලීම සිදුවිය යුත්තේ මෙකී සියලු කාරණයන් නිසි අවධානයට ලක් කිරීමෙන් අනතුරුවය.
■ ඒ අනුව වෙබ් අඩවියක පල කරන පින්තූර යම්කිසි වගකීමක් ඇතිව පල කිරීමට වෙබ් ජනමාධ්‍යවේදීන්/වේදීනියන් කටයුතු කළ යුතුය.
3.1. ප්‍රවෘත්ති සහ තොරතුරු එක් රැස් කිරීම
3.1.3. ඕනෑම ආකාරයක තොරතුරක්, ප්‍රවෘත්තියක් හෝ ප්‍රවෘත්තිමය විශේෂාංගයක්, ඡායාරූපද ඇතුළුව මහජනතාවට ප්‍රවේශ විය හැකි පරිදි ප්‍රකාශ කෙරෙන අවස්ථාවක එය සිදුකළ යුත්තේ අදාළ පළ කිරීමෙහි අන්තර් ගතයෙහි නිරවද්‍යතාවය පිළිබඳ විවිධ කෝණයන්ගෙන් සලකා බැලීමෙන් අනතුරුවය.
යම් හෙයකින් එවැනි සලකා බැලීමක් කල නොහැකි අවස්ථාවක් පැමිණියේ නම් එහිදී අදාළ වෙබ් මාධ්‍යයෙහි සංස්කාරකවරයා/ප්‍රකාශකවරයා හෝ හිමිකරු යන මේ අය අතුරින් යමෙක් අදාළ අන්තර්ගතයෙහි  මූලාශ්‍රයේ වලංගුභාවය පිළිබඳ සහතික විය යුතු අතර පළ කෙරෙන්නේ කවරක්ද එය පිළිබඳ පූර්ණ වගකීමද දැරිය යුතුය.
■ ‘සමයං’ බන්ධනාගාර බසය තුළ මියයෑම සම්බන්ධයෙන් වූ ඡායාරූපය පලකර තිබුණේ අදාළ පල කිරීමේ අන්තර්ගත‍ෙ නිශ්චිත තොරතුරු දැනගෙන නොවේ. නැතහොත් එහි සැබෑ කතන්දරය එළියට ඒමට පෙර අදාළ ඡායාරූපයත් සමග ඔහුගේ මියයෑම  පිළිබඳ විස්තර පල කොට තිබුණි. මෙය වෙබ් මාධ්‍ය ආචාර ධර්ම හා ගැටෙන තත්වයක් බව පැවසිය හැක. අපරාධයක් සිදු වූ සැනින් ඒ පිළිබඳ පුවත් සහ ඊට අදාළ ඡායාරූප පළ කිරීම අප රටේ මාධ්‍යකරුවන් පෙළඹවී ඇත. පළ කරන ඡායාරූප වල වගකීම අදාළ වෙබ් ඇඞ්මින්වරයා භාරගත යුතුය.
5. වාර් තාකරණයෙහි සමාජ වගවීම
5.1. දාමරික ක්‍රියාකාරකම්, ප්‍රචණ්ඩ ක්‍රියා, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි, කූරත්වයන්, පරපීඩාකාම ක්‍රියාවන්, කාමය මුල්කරගත් දාමරිකකම්, ව්‍යාභිචාරයන්, ළමා අපචාර සහ ළමයින්ට අශ්ලීලකම් පෑම වැනි සමාජය තුළ ප්‍රකම්පනයන් ජනිත කල හැකි, හැඟීම් අතින් වේදනාකාරී හෝ එවැනි සිද්ධියකට ගොදුරු වූ කිසියම් හෝ පුද්ගලයෙකුගේ රහස්‍යත්වයට හානිවිය හැකි අවස්ථාවක තොරතුරු වාර් තා කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. එවැනි සිදුවීමක් ආශ්‍රීතව වාර්තාකරණයේ වගකීම් ජනතාව වෙත ඉටුවිය යුත්තේ කරුණු හෝ මත පළ කිරීම්, ඡායාරූප පළ කිරීම, සහ රූප සටහන් ආදිය පල කිරීම උචිත සංවේදීතාවයක් සහ රහස්‍යත්වය නඩත්තු වන පරිද්දෙන්ය.
■ ඒ අනුව මෙම ඡායාරූපය දාමරිකයන් විසින් කල ඝාතනයක් නිසා දාමරික ක්‍රියාකාරකම් ගොඩට අයත්වන අතර සමාජය තුළද දැඩිව කතාබහට ලක්වෙන ලදි. මෙම සිදුවීම වාර් තා කිරීම මඟින් ඔහුගේ අතීත තොරතුරු, පවුල් පසුබිමද හෙලි වූ අතර එය ජීවත්ව සිටින්නන්ද අපහසුතාවයට ලක්කල කරුණක් විය. මාධ්‍යවේදීන්ට මෙය තම වෙබ් අඩවි පවත්වාගෙන යන්නට අවැසි වූ ඡායාරූපයක් වූ අතර එම ඡායාරූපය දෙස බලන කල භීෂණය ඉස්මතුව පෙනෙන ආකාරයක් දිස් වුණි. එලෙස සංවේදීතාවයට උචිත ලෙස සහ රහස්‍යභාවය ඇතිවෙන ආකාරයට මෙම ඡායාරූපය පල කිරීමට අවස්ථාව තිබුණි.
5.4. වෙබ් සංස්කාරකවරයෙකු, ප්‍රකාශකවරයෙකු, පරිපාලකවරයෙකු හෝ ඕනෑම ආකාරයක  වෙබ් මාධ්‍යයක සේවයෙහි යෙදෙන ජනමාධ්‍යවේදීන්,වේදිනියන් යන සියල්ලන්ම හදිසි අනතුරු, රිය අනතුරු සහ පැහැරගෙන යාම් සම්බන්ධ පුවත් වාර් තා කිරීමේදී යොදා ගන්නා ඡායාරූප සහ වීඩියෝ පට මහජන භීතියට හා පිළිකුළට භාජනය නොවන සහ සංස්කරණයකින් තොරව පල කිරීමෙන් වැළකිය යුතු අතර භාෂා භාවිතය සම්බන්ධයෙන්ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
■ ‘සමයං’ ඝාතනයට ලක් වූ ඡායාරූපය සංස්කරණය නොකළ දර්ශනයක් බව පෙනේ. ලේ පෙරී සිටින මළ සිරුරක් දැකීමෙන් එය බලන ජනයා භීතියට හා පිළිකුලට පත් වීමට ඉඩ ඇත. ඡායාරූප තුලින් ලේ පෙන්වීම සිදු නොකරන අතර නමුත් මේ ඡායාරූපයෙන් ලේ වැගිරී බසයේ පඩිපෙල මත වැටී සිටින ආකාරය පෙන්නුම් කෙරේ. මළ සිරුර බොඳකර හෝ ලේ සහිත ස්ථානයන් වසා පෙන්වීම සිදුකල යුතුව තිබුණි. මෙය හදිසියේ සිදු වූ අනතුරක් බව පෙනේ. එනම් කිසිවෙකුත් බන්ධනාගාර බාරයේ සිටියදී සැකකරුවෙකු මියයෑම අපේක්ෂා නොකරයි. මෙලෙස අපේක්ෂා නොකළ අනතුරක් සංස්කරණය නොකළ දර් ශනයක් ලෙස පෙන්වා එය දකින ජනතාවට පිළිකුලක් හෝ භීතියක් ඇති කිරීමට  හේතුවක් වේ. මෙය වෙබ් මාධ්‍ය ආචාර ධර් ම 5.4ට අනුව පටහැනිය.
8. මහජන අභිලාෂයන් ආරක්ෂා කර පවත්වාගෙන යාම.
ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය, වාර්ගික සහ ආගමික සහජීවනය, සාමය සහ පරිසරය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මිනිසුන්ගේ සියලුම මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙහිද, පුද්ගල කණ්ඩායම්, ප්‍රජාවන් සහ පොදු සමාජයට සෘජුව හෝ වක්‍රව හානි පැමිණිවිය හැකි සිඳුවීම් හෝ ගැටලු පිළිබඳ මහජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමෙහිද, ද්වේෂ සහගත හැසිරීම් ජනිත කරවන ආකාරයේ ක්‍රියාකාරීත්වයන්, වාර්ගික හෝ ආගමික ගැටුම් වල පෙළඹවීමේ උත්සාහයන්, අපරාධ, දූෂණ ක්‍රියාවන්, පරිපාලන යාන්ත්‍රණයන්හි අයථා ක්‍රියාවන් බරපතල ආකාරයේ වැරදි  ක්‍රියාවන්ද හඳුනා ගනිමින් ඒවා අණාවරණය කිරීමෙහිද  නිරතවීම මහජන අභිලාෂයන් ආරක්ෂා කිරීමෙහිලා මැදිහත් විය හැකි ආකාරය වශයෙන් පිළිගැනෙනු ඇත.
■ මෙහිදී සාමය සහ පරිසරය යන මිනිසාගේ මානව අයිතිවාසිකම් කඩවීමක් මෙම ඡායාරූපය මගින් පෙන්නුම් කෙරෙන අතර කඩුවෙල අධිකරණයට රැගෙන යාම සදහා සැකකරුවන් බන්ධනාගාර රියට ගොඩ කරගන්නා අතර කඩුවෙල අධිකරණයට යන අතරමග කළුතර උතුර ජාවත්ත පාරේ එතැනමඬල ප්‍රදේශයේදී සිදුකල වෙඩි තැබීමෙන් මෙහිදීි සමයං ඇතුළු සැකකරුවන් මියයන ලදි. මෙහිදී සාමය හා පරිසරය යන මිනිසාගේ මානව අයිතිවාසිකම් කඩ වී ඇති බව පෙනේ.
        අපරාධ ආදිය අණාවරණය කිරීමෙහිලා කටයුතු කිරීම මෙම ඡායාරූපයෙන් සිදුවේ. නමුත් බන්ධනාගාර භාරයේ සිටියදීත් ආරක්ෂාවක් නොමැති බව මෙම ඡායාරූපයෙන් පෙනේ. මෙය රජයටත් හොද නැත.
මෙහිදී විශේෂයෙන්ම කිව යුත්තේ ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරනු ලැබූ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගැනුණු මාධ්‍ය වෘත්තීය ප්‍රතිපත්ති ආචාර ධර්මද පුවත්පතේ අන්තර්ජාල ප්‍රකාශන වලට අදාළ වන බවයි.

නිගමනය

වෙබ් මාධ්‍යවේදය නිසා ඉක්මනින් සහ ඕනෑම ආකාරයක තොරතුරක් ලොව පුරා ව්‍යාප්ත කල හැකි මට්ටමේ පවතින නිසා අද වන විට එය ජනප්‍රිය මාධ්‍යයක් වී ඇත. ඒ නිසා වෙබ් මාධ්‍යවේදීන්/වේදිනියන් අන්තර්ජාලය වෙත එක් කරනු ලබන ඕනෑම ආකාරයක තොරතුරක් ලබා දීමේදී අනුගමනය කල යුතු ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම ඡායාරූප අන්තර්ජාලයට එකතු කිරීමේදී ඒ ගැන වඩා සැලකිලිමත් වියයුතු අතර එමගින් සිදුවන හානිය පිළිබඳව විවිධ කෝණ වලින් බැලිය යුතුය.
‘සමයං’ ඇතුළු පිරිස බන්ධනාගාර බස්රියේ ඝාතනයට ලක් වී සිටීම දැක්වෙන ඡායාරූප වෙබ් මාධ්‍ය තුළ පලවීමත් ඒ තුලින් ඔහුගේ ඥාතීන්ට වූ බලපෑම, පවුල් පසුබිම හෙළිදරව් කිරීම, සංස්කරණය නොකළ දර්ශන නිසා එය නැරඹු ජනතාව භීතියට හා පිළිකුලට පත්වීම යන කාරණා නොතකා ජනමාධ්‍යවේදීන් විසින් මෙම ඡායාරූප පලකර තිබුණි.
මේ අනුව මේවා වැලැක්වීම සදහා වෙබ් මාධ්‍ය ආචාර ධර්ම වලට අනුගත වීම සක්‍රීය ලෙස සිදුවිය යුත්තක් බව වර්තමානයේ වන සිදුවීම් දෙස බලද්දී පෙනී යයි.
                                                                                                         
                                                                                                          w.s.v. සෙනෙවිරත්න
  ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


4 comments: